Ranjith Siyambalapitiya

රාජසිංහ රජුගේ ඉතිහාස කතාවෙන් බිඳක් සොයා ගියෙමි

ලිපිය බෙදාගන්න

කටේ කිරිසුවඳ යන්නට පවා බැරි වුණා
යුධට උපන් කුමරිදු යැයි පතල වුණා
මුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

සොළොස් වියේදී සීතාවක මහා සේනාව මෙහෙයවූ මායාදුන්න රජුගේ පුතණුවන් ටිකිරි බණ්ඩාර කුමරුවන් පසුව (සීතාවක රාජසිංහ) පිළිබඳ ජන කවියා උදම් වූයේ එසේය.

නිතර නිතර සීතාවක යුද බෙර වැයුනා
කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් උනා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ රජ නාමය ලොවේ රජ වුණා

එය රජුගේ රණශූරත්වය උච්චතම අවස්ථාවට පැමිණි වකවානුව ගැන ජන කවියා නැවතත් ආඩම්බරයෙන් අපට දුන් පණිවිඩයයි.

රිසිරු පෙතංගොඩ උයනට අනේ ලං උනා
නපුරු උණ කටුව පතුලේ ඇනී වන උනා
එක්ව සිටි සැවොම මතුරා විෂද වැඩිවුණා
රාජසිංහ රාජ නාමය කියා නැතිවුණා

පෙතංගොඩ උයනේදී විෂ උණ කටුව ඇනි ඇතිවූ තුවාලයට මතුරා විෂ බැඳීම නිසා එය ඔඩුදුවා රජතුමා මියගිය බව ජන කවියා ඇඩූ කදුලින් කීවේ එසේය.

අද මා තිඹිරිපොළ පන්සලේ ලොකු හාමුදුරුවන් සහ පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා සමග රාජසිංහ රජු කරවූ බවට සැලකෙන දෙහිඕවිට තිබිරිපොළ පිහිටි සිරි පතුලේ ආකෘතිය බැලීමට ගියෙමි. ඊට එහා රජ ලෙන ඇත. ආසන්නය්ම දැක ගත හැක්කේ සීතාවක ගංගා කොමළියයි.

සිරිපතුලේ ආකෘතිය පිළිබඳ කතාවක් ද ඇත. රජු ඉතා ආදරය කළ ලාබාල බිසවුන් වහන්සේ කෙනෙකු වූ දොඩම්පේ බිසෝබණ්ඩාර බිසවට දරු ප්‍රසූතියට ඉතා ආසන්නයේ දොළ දුකක් පහළ වීලු. ඒ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමයි. එහෙත් දෝලාවකින් හෝ ඇය ගෙනයාමට තිබූ අපහසු තත්ත්වය නිසා රජු ගල්වඩුවා ගෙන්වා ටිකිරිපොළ සීතාවක ගඟ අයිනේ ගල්තලාවේ සිරිපතුලේ ආකෘතියක් තනවා බිසවට එය වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දුන්නේලු.

රජුගේ නැකැත් කණ්ඩායමේ සිටි දොඩම්පේ ගනිතයා ගුරුන් වහන්සේගේ බාල දියණිය මේ දොඩම්පේ බිසොබණ්ඩාර වීලු. ලාබාල දියණිය රජු බලෙන් අවාහ කර ගැනීම පිළිබඳ ගුරුන් වහන්සේ සිටියේ අමනාපයෙන්ලු. එහි ප්‍රතිඵලය වූයේ පෙතංගොඩ උයනේදී රජුට විසකටුව ඇනුණ විට ගුරුන්වහන්සේ මතුරා විස බැදීමලු.

කෙසේ වුවත් සීතාවක රාජසිංහ මෑත යුගයේ අපට සිටි රණසූරම රජතුමාය. එහෙත් එතුමා ගැන අපේ ඉතිහාසයේ ඇත්තේ අල්ප සඳහනකි. එයට හේතුව ඔහුගේ සමහර දඩබ්බර ක්‍රියාවන්හි ප්‍රතිඵලයන් විය හැකිය. එතුමා ගැන දැනගැනීමට ඇත්තේ එකල පෘතුගීසි ඉතිහාසකරුවන් ලියූ ලේඛන වලිනි. ඩී ක්ව්ස් වැනි පෘතුගීසි ඉතිහාසකරුවන් බොහෝ රටවල යුද්ධ සියැසින් දැක ඇති වුවත් සීතාවක රාජසිංහයන් තම ආත්ම ආරක්ෂක හමුදාව සමග සතුරු හමුදාව වෙත කඩා පනින ආකාරය දැක ලොමු ඩැහැගැන්වු බව ප්‍රකාශ කරයි. යුද්ධය ජීවිතය කරගත් පරංගීන් පවා භීතියට පත්කල අපේ වීරයා පිළිබඳ කතා කළ යුතුමය.

තිබිරිපොළ රජ ලෙන, මානියන්ගම රජ මාලිගය, සීතාවක සොහොන, බ්‍රැන්ඩි කෝවිල, පෙතංගොඩ කටු උණ පඳුර එතුමා ඉතිරි කර ගිය සටහන්ය.

කෑගල්ල සංචාරක කොරිඩෝ ව්‍යාපෘතිය මගින් විවිධ ‍‍ඵෙතිහාසික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ මග පෙන්වීම මත කිරීමට සැලසුම් කර ඇත. එයින් අපේ පෞඩ ඉතිහාසය නැවත ලොවට කියා පෑමට අවස්ථාවක් සැලසෙනවා මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ආර්ථිකය සංවර්ධනයටත් අනාගතයේදී යම්කිසි පිටුවහලක් සැලසෙනු ඇතැයි මගේ කල්පනාවයි.

තවත් ලිපි කියවන්න