Ranjith Siyambalapitiya

“මගේ වැන්දල පළතුරු අරණ” පොත දොරට වැඩීම..

ලිපිය බෙදාගන්න

“මගේ වැන්දල පළතුරු අරණ” පොත 2026/04/30 වන දින දොරට වැඩීය.
ඒ අපේ ගෙදර මිදුලේ සැකසූ චාම් වේදිකාවක කොළඹ ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

අනෙකුත් විශේෂ අමුත්තන් වූයේ අපේ වැන්දල පංසලේ විහාරාධිපති හාල්යායේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේත් ප්‍රදේශයේ හින්දු, මුස්ලිම්, කතෝලික පූජක වරුන් තිදෙනෙකුත්, ආදිවාසී නායක වන්නිල ඇත්තෝත් ය. තවත් විශේෂ අමුත්තකු වූයේ පලතුරු අරණේම සේවක සහෝදරයකු වූ හදිසි අනතුරකට ලක්ව කලක් ප්‍රතිකාර ලබමින් සිටින මේ පලතුරු එකතුව වර්ධනයට හොඳ දායකයකු වූ සරත් අබේරත්න මහතාය.

ඉතිරිය ප්‍රදේශයේ දහම් පාසැල් දරුවන්, ගුරුවරුන් හා මාගේ කාර්‍යය මණ්ඩලයෙන් සම්පූර්ණ විය.

පරම්පරා තුනක සහ මගේ ජීවිත කාලයේත් එකතුවක් වූ වැන්දල පලතුරු අරණ පොතක් බවට පෙරලා රටට දැයට ප්‍රයෝජනයට ලබාදීමේ ආශාවක් කලක පටන් තිබිණ. එයට එක් ප්‍රධාන බාධාවක් වූයේ වසර 30ක් වැනි කලක් අඛණ්ඩව ගත කළ ඉතාම අවිවේකී ජීවිතයයි.

2024 අග භාගයේදී අහඹු ලෙස හෝ ලද විවේකයත්, අදාළ කේෂ්ත්‍රයේ ප්‍රවීනයකු වූ ආචාර්ය සුබ හීන්කෙන්ද මහතා හමුවීමත් පලතුරු අරණ පොතක් බවට පරිවර්තනය කිරීමට හේතු විය.

එහි වැඳගත් දේ ගැන සටහන් කළොත්:

(1) පිටු 450 ක ටිකක් ලොකු පොතක් වූ එහි පිටු 435 ක් ප්‍රයෝජනයට ගනිමින් අනන්‍යතාව හඳුනාගත් පලතුරු වර්ග 435 ගැන එකකට එක පිටුව බැගින් යොදා පිංතූර හා විස්තර දක්වා ඇත.

(2) පොතෙහි වටිනාකම අනුව ඉහළ මිලක් නියම කිරීමට යෝජනා බොහෝ ආවත් මූලික වියදම් සහ බෙදාහැරීමේ වියදම් වත් ආවරණය කර ගැනීම සඳහා රු.2500/= ක මිලක් මත රැඳෙනුයේ වැඩි පිරිසකට එය පරිහරණය කිරීමට අවස්ථාව දීමටය.

(3) පොත පැමිණ ගැනීමට හෝ මාර්ගස්ථව ගෙන්වා ගැනීමට අවශ්‍යය නම් “විජිතයාපා පොත් සමාගම” සූදානම්ව සිටී.

(4) වැඳගත් දේ මේ පොතෙහි ඇති ගස් සියල්ල අක්කර 15 කට අඩු භූමියක කි.මී.2 කට ආසන්න පා ගමනකින් ඔබට නැරඹිය හැකි වීමයි.

(5) කුඩා ගසක ඵල බලා ගැනීමේ සංකල්පය මත වට තුනකට කප්පාදු කර දැන් ඇත්තේ කොල, ඵල රහිත ගස් කොලන් වැඩි ප්‍රමාණයකි.
ඔබ වැන්දල පලතුරු අරණ බැලීමට එන්නේ නම් සැප්තැම්බර් මසින් පසු දිනක්‍ යොදා ගතහොත් පොතෙහි ඇති ඇත්තන් ඔබට එලෙසින්ම බලාගත හැකිවනු ඇත.

(6) පොතෙහි විස්තර ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකෙන්ම ඇත.

ස්තූතියි !
වැන්දල පලතුරු අරණ

තවත් ලිපි කියවන්න