Ranjith Siyambalapitiya

දෙමාපියන්ගේ සතුටට කුඩා වචනයක් වුවද ප්‍රමාණවත්ය

ලිපිය බෙදාගන්න

රුවන්වැල්ල, මොරාවත්ත, සෝමරතන වැඩිහිටි නිවාසයේ මාපියන් වෙත ඇස් කණ්නාඩි ලබා දුනිමි. අපේ සාරධර්ම අනුව නම් වැඩිහිටි නිවාස කියා දෙයක් තිබිය නොහැක. එහි සිටි එක් අම්මා කෙනෙක් මා හොදින් අදුනන්නේය. ඇයගේ දියණිය සතියකට පෙර මගුල් ගෙදරකදී මට හමුවිය. පෙනුමෙන් ඇයට සරුසාර පාටය. දියණිය හමුවූ බව කියා කියන්නට දිව අගටම ආවත් ඒ අම්මාට දුක හිතෙයි කියා මා කියන්නට ගියේ නැත.

මට අපේ අම්මා සිහිපත් විය. අම්මාට මාගේ අක්කලා, නංගිලා කොතරම් සැලකුවත් අවසන් කාලයේ මහගෙදර ඉන්න ඕනෑ විය. ඇය එහිදී ඔත්පල විය. කල්පනාවද නැතිවිය. වසර දෙක හමාරක් එසේ මා ඇයව බලාගත්තාය. 2016දී ඇය අප අතහැර ගියාය. ඇයව හොදින් බලාගත් ඒ යුතුකම සැමදා මාහට ගෙන එන්නේ කිසිවකටත් දෙවෙනි කල නොහැකි මහා තෘප්තියකි.
අතුරු කථාවක්ද තිබේ. වරක් ඇගේ උපන්දිනයට මා ඇයව රුවන්වැලි මහා සෑය වන්දනා මාන කිරීමට කැඳවාගෙන ගියේය. මා එවකට විදුලි සංදේශ අමාත්‍යවරයාය. ඇයට ඇවිදීමට අපහසු නිසා රෝද පුටුවක තබාගෙන මම රුවන්වැලි මහා සෑය වටා ගෙන ගියෙමි. බොහෝ අය මා ලගට ඇවිත් කථා කලාය. ටිකදුරක් යනවිට අම්මා කදුළු පිහින මව මට තේරුණි. “ඇයි අම්මේ” ඇය ලේන්සුව සඟවා ගත්තාය. අනුරාධපුරයේම නවාතැනටවී මම මේ සිද්ධිය ගැන ලියා උපන්දින සිහිවටනයක් ලෙස ඇයට දුනිමි.


පුතු අද ඇමති වුවත් මුළු රට දැනුවත්
සෙල්ලම් කරත්තෙන් ගෙන ගිය හැටි සිහිවිත්
ඔබ දෑස් කෙවෙනි තුල උණු කදුළැලි ගැලුවත්
නාඩන් අම්මේ ඔබෙ පුතුමයි මතු භවයෙත්


2016 දී ඇය අප හැරගොස් කලකට පසු ඇයගේ අල්මාරිය අස්පස් කල අයෙක් ඇයගේ දිනපොත මට ගෙනවිත් දුන්නේය. ඇය මුතුවන් රවුම් අකුරින් හැමදිනකම සටහන් ලියන්නට පුරුදුවී සිටියේය. ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යාවක සිටියදී බව දිනක් මට ඇය කීවා මතකය.

ඇයගේ උපන්දිනයට අනුරාධපුරයට ගිය 2011 ජනවාරි 15 පිටුවේ මාගේ එම කුරුටු ගීය අලවා තිබුණි. ඊට යටින් ඇයට එහි ඇති අගය සටහන් කර තිබුණි. “මම කවි වලට හරිම ආසයි. අද මගේ ජීවිතයේ මිහිරිම කවිය මම රස වින්දා. ඒ මගේ පුතා උපන්දිනයදා අනුරාධපුරයේදී මට ලියාදුන් කවියයි. අද මට අවුරුදු 83යි. මෙතරම් රසවත් කවියක් මට නැවත දකින්නට නොලැබෙනු ඇත. “පුතේ ඔයාට පින්” ඒ අම්මලාගේ හැටිය. මා බැරි බැරි ගාතේ යන්තම් ගැට ගැහූ පද කීපය ඇයට ලොව ඇති අගනාම කවිය විය. සෑම වැඩිහිටි නිවාසයකට කොටුවී සිටින මව්පියන්ටද එසේමය. මව්පියන් සතුටු කිරීමට විශාල දේවල් අවශ්‍ය නැත. ඉතාමත් පුංවි වචනයකින්, ක්‍රියාවකින් ඔබේ අම්මා සහ අප්පච්චි සතුටු කල හැක.


රංජිත් සියඹලාපිටිය

තවත් ලිපි කියවන්න