Ranjith Siyambalapitiya

ප්‍රතිපත්ති හා දර්ශන

විශිෂ්ට ශ්‍රී ලංකාවක් සඳහා වූ මාගේ ශක්තිමත් අභිලාෂයන් සහ දර්ශන

මූල්‍ය කළමනාකරණයේදී ප්‍රධාන කරුණක් වන සීමිත සම්පත් ප්‍රමාණය අසීමිත ඉල්ලුමක් පිරිමැසීම සදහා යොදා ගැනීම නිසි පෙළගැස්මකට අනුව සිදු කිරීම ඉතාමත්ම වැදගත්ය. එසේ සිදු කිරීමෙන් මූල්‍ය කළමනාකරණයේ ඵලදායී ප්‍රථිපල ලබාගත හැකි වනු ඇත.

බොහෝ විට අපි අසාර්ථක වී ඇත්තේ ච නිවැරදි පෙළගැස්මක් නොමැතිවීමෙනි. එයට සමහර විට දේශපාලන තීරණ, පෞද්ගලික තීරණ වගේම ඊටත් එහා ගිය මැතිවරණ ඉලක්ක කරගෙන ගන්නා ජනප්‍රිය තීන්දු ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අසාර්ථක වීමට හේතු විය හැක.

මෙවැනි සිදුවීම් දිගින් දිගටම කාලයක් පුරාවට සිදුවීම නිසා ඵලදායිකත්වය නොලැබීමෙන් අපේ ආර්ථික ස්ථාවරත්වය බිඳවැටීමට ලක් විය. ණය ලබාගත යුතු වුවත් එය ඵලදායී යෙදවීමක්, ගෙවීමේ හැකියාවත් තිබිම අවධානයට ලක්විය යුතු අතර එසේ නොකිරීම නිසා සැමදාම ආදායමට වඩා වියදම විශාල පරතරයකින් වැඩි විය. අද වන විට රජය ජනප්‍රිය තීන්දු පසෙකලා ස්ථිරසාර අනාගතය පිළිබඳ තීන්දු ගනිමින් සිටි. මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික ස්ථාවරත්වය රටක ඉදිරි ගමනට ඉතාමත් වැදගත් බව මගේ හැඟීමයි.

ඕනෑම රටක සංවර්ධනය කරා යාමේදී ප්‍රධාන ඉලක්කයන් තිබිය යුතුය. විශේෂයෙන් ප්‍රධාන විෂයන් සඳහා අධ්‍යාපනය සෞඛ්‍යය මහා මාර්ග පරිසරය කෘෂිකර්මය සංචාරක ව්‍යාපාරය මෙවැනි ප්‍රධාන විෂයයන් ගැන රටක් වශයෙන් සර්ව ආර්ථික ඉලක්ක ම තිබිය යුතුය. ඉලක්ක කරා ළඟා වීමේදී ප්‍රධාන කාරණා දෙකක් ඇත.

1. ඒ සඳහා වූ පැහැදිලි කාල රාමුවක් තිබීම සහ
2. එසේම ප්‍රතිපත්ති රාමුවක්ද තිබිය යුතුය.

ලෝකයේ සමහර රටවල විප්ලවීය පරිවර්තනයක් ඇතිවුවහොත් රටක් වශයෙන් ප්‍රතිපත්ති ආර්ථික වෙනස් වන අවස්ථා ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්වීමකින් ලෝකයේ බොහෝ රටවල ප්‍රතිපත්ති වෙනස් නොවේ. නමුත් අපේ රටේ රජයක් වශයෙන් පමණක් නොව අදාල විෂයේ අමාත්‍යවරයා මාරු වූ විටත් ප්‍රතිපත්ති වෙනස්වන ස්වභාවයක් දක්නට ඇත.

එසේ ප්‍රතිපත්ති වෙනස්වීම රටක ඉදිරි ගමනට විශාල බාධාවකි. ලෝකයේ අනෙක් රටවල ප්‍රතිපත්ති වෙනස් නොවෙනවා සේම අපේ රටේත් රජයන් වෙනස් වුවත් විශේෂයෙන් ප්‍රධාන විෂයන් සඳහා ඇති ප්‍රතිපත්ති වෙනස් නොවී ජාතික ප්‍රතිපත්තීන් ලෙස ඉදිරියට යා යුතුය.

කලින් කලට ඇතිවන තාක්ෂණික වෙනස්වීම්, කාලීන වෙනස්වීම් හැරුණුකොට නිශ්චිත රාමුවක් තුළ ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් රටක් වශයෙන් තිබීම ඉදිරි ගමනට අනිවාර්යයෙන් තිබිය යුතු බව මගේ හැඟීමයි.

ලෝකයේ සෑම රටක්ම ණය ගැනීම සිදුකරයි. වැඩියෙන්ම ණය ගනු ලබන්නේ ලෝකයේ ශක්තිමත්ම රටවල්ය. නමුත් ඔවුන් ගන්නා ණය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැත. එයට හේතුව නිවැරදි ණය කළමනාකරණයයි. රාජ්‍ය ණය කළමනාකරයේදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ ණය පිළිබඳ වූ වියදමයි. විශේෂයෙන්ම එම ණය ලබා ගැනීමේදී එම අවස්ථාවේ ඇති අඩුම ණය පොලිය සහ ණය කොන්දේසි පිළිබඳ තක්සේරුවක් තිබිය යුතුය. ගන්නා වූ ණය වඩාත්ම ඵලදායි කාරණා වලට යෙදවීම සිදුවිය යුතු වුවත් අපේ රටේ බොහෝ විට සිදුව ඇත්තේ ගන්නා ණය පිළිබඳ නිවැරදි ඇගයීමක් සිදු නොවීමෙන් ව්‍යාපෘතියට අදාල උත්පාදනය ඇති නොවීම හෝ එම උත්පාදන ක්‍රියාවලිය සඳහා සාපේක්ෂව දීර්ඝ කාලයක් ගත වීමයි.

එසේම ණය ගෙවීම පිළිබඳ අපට ඇති ස්ථිරසාර භාවය පිළිබඳවද සැලකිල්ලට ලක් කිරීම වැදගත්ය. රාජ්‍ය ආදායම සහ මුළු දළ දේශීය නිෂ්පාදනය සමග ණය පිළිබඳව යම්කිසි ඉලක්කයක් තබා ගත යුතුය. වාසිදායක පොලියට සහ කොන්දේසි මත ණය ගැනීම කළ යුතුය. එය විවෘත මනසකින් සිදුකිරීමට හැකි විය යුතුය. රටේ අවශ්‍යතාවය අනුව වඩාත්ම ඵලදායි කාරණා සඳහා පමණක් මෙම ගන්නා ණය යෙදවිය යුතුය. රාජ්‍ය ආදායම සැලකිල්ලට ගෙන ණය සීමාවක රඳවා ගත යුතුය. මේ සියල්ල සැලකිල්ලට ගෙන රාජ්‍ය ණය කළමනාකරණය කරගතහොත් ණය ලබා ගැනීමේදී කිසිදු රටක් ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය නොහැක.

අපේ රාජ්‍ය වැවිලි ක්ෂේත්‍රය කොටස් දෙකකට අයත්ය. එකක් රජය විසින්ම පාලනය කරන වතු සමාගම්. අනික ප්‍රාදේශීය වැවිලි සමාගම්. ඒ රජය සතු විවිධ සමාගම්වලට බඳු දී රජය විසින් පාලනය කිරීමයි. මෙසේ ප්‍රාදේශීය වතු සමාගම්වලට බදු දීම සිදුකර ඇත්තේ 1995 වර්ෂයේදීය. එසේ කිරීමටත් හේතුවක් තිබිණ. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් සමාගම් වැවිලිකරුවන් සතුව තිබූ ඉඩම් රජය විසින් පවරා ගැනීම සිදුවිය. එය අපි අතින් සිදු වූ එක් වැරදීමක් යයි සිතේ. එසේ ලබාගෙන රජය විසින් පරිපාලනය කිරීමට යාමේදී සහ පරිපාලනය දේශපාලනය සමග බද්ධවීම සිදුවිය.

1995 වන විට මෙම වතු ඉදිරියට පවත්වා ගෙන යෑමට බැරි තත්ත්වයට පත්විය. එම අවස්ථාවේ පාඩු ලබමින් තිබූ මෙම වතු පෞද්ගලික සමාගම් වල කොන්දේසිවලට යටත්ව බදු දීමට සිදුවිය. ආපසු හැරී බැලීමේදී මෙම විශාල ඉඩම් ප්‍රමාණයෙන් සැබෑ ප්‍රයෝජන අරන් තිබේද? ලෝක වෙළඳපොළට ගැලපෙන පරිදි වගාවන් අප සතුව තිබේද? තවමත් අපි සාම්ප්‍රදායික වගාවන් කිහිපයක පමණක් මත එල්බ සිටීමෙන් ඒ වගාවන් නව ලොවට අවශ්‍යතාවයන්ට සැපයුමක් ලබා දිය හැකිද යන්න යන්න අප හමුවේ පවතී.

මෙම වතු වගාවන් පිළිබදව සැලකිල්ලට ගැනීමේ දී අපනයන සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් තිබෙනවාද? එසේම මෙම වැවිලි සඳහා එකතු කළ යුතු අගය අපි එකතු කරනවද? මෙම වතුවල සේවය කරන කම්කරුවන්ගේ ජීවන තත්ත්වය යහපත්ද? වතු වල යටිතල පහසුකම් පිළිබඳ සෑහීමකට පත්විය හැකිද? මෙම වතු අලුත් තාක්ෂණය භාවිතා කරනවද? මේ සියල්ල පිලිබදව සැලකීමේදී ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බැව් පැහැදිලිය. ඒ නිසා වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ අරමුණ ඉහත සාධක පදනම් කොට යාවත්කාලීන වීමකි.