Ranjith Siyambalapitiya

24 වන ධර්මසිරි සේනානායක මැතිතුමාගේ ගුණ සැමරුම

පුවතේ ගැලරිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් සහ ජනමාධ්‍ය, සංචාරක, සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ධර්මසිරි සේනානායක මැතිතුමාගේ 24 වන ගුණ සැමරුම ජූලි 24 දිනට යෙදී තිබුණි.

එතුමා ලෝක සංචාරක සංවිධානයේ හිටපු විධායක සභාපති, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති සහ දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයාද වේ.

ඒ නිමිත්තෙන් ධර්මසිරි සේනානායක ගුණ සමරු කමිටුව සංවිධානය කළ නෙළුන්දෙනිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින අය සඳහා පැවැත් වූ දානමය පින්කම සහ පින් අනුමෝදන් කිරීම එදින පැවැත්විණි.

අද දින (27) ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාව සහ ගුවන්තොටුපොල සේවා නියුක්තිකයින් සෑම වර්ෂයකම එතුමාගේ ගුණ සිහිපත් කරමින් වරකාපොල එතුමාගේ පිළිරුව අසල 24 වෙනි ගුණ සමරුව සංවිධානය කර තිබිණි.

ඒ නිසාම සුපුරුදු පරිදිම සියලු වැඩ පසෙකලා එම අවස්ථාවට සහභාගී වූයේ එතුමාට ඇති විශේෂිත ගෞරවය නිසයි. එතුමා දේශපාලඥයෙකු පමණක් නොව උගතෙක්, විද්වතෙක්, කලාකරුවෙක්, කලා රසිකයෙක් සහ ජනතාවාදී නිහතමානී දේශපාලනඥයෙකු විය. දඟකාර දේශපාලන ශිෂ්‍යයෙකු ලෙස සිටි මා හට දේශපාලනයට අවතීර්ණ වීමට දොර විවර කර දුන්නේද එතුමාය. ඒ නිසාම එතුමාට ඇති ගෞරවය අපි මහත්තය.
එතුමාගෙන් උගත යුතු දේ බොහෝය. කෑලි වලට කැඩී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කොට රජයක් පිහිටුවන තැනට මෙහෙය වූයේ සහ යුගයේ අවශ්‍යතාවය පරිදි බලගැන්වූයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස 1994 වන විට ධර්මසිරි සේනානායක මැතිතුමාය. අද වන විටත් යුගයේ දැඩි අවශ්‍යතාවයක් නිර්මාණය වී ඇත. ඒ වැටුණු රට ගොඩගත් වැඩපිළිවෙල ආරක්ෂා කිරීමයි. එය බිඳවැටීම නැවතත් සමස්ත ජාතිය ආර්ථික ආගාධයේ ගිල්වා දැමීමකට සමානය. එහෙයින් මෙම ධනාත්මක වැඩපිළිවෙළ ආරක්‍ෂා කලයුතුය. එහිදී ධර්මසිරි සේනානායක මැතිතුමාගෙන් ඉගෙන ගත යුතු කරුණු රාශියක් තිබේ. ඒ යුගයේ අවශ්‍යතාවය පරිදි දේශපාලනය හැඩගස්වා ගැනීමයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය ඊට අනුගත වී තිබීම සතුටට කරුණකි. ඊට වෙනස් මත දරන්නන්ටද ධර්මසිරි සේනානායක මැතිතුමාගේ චරිතාපදානය අධ්‍යයනය කිරීම සුදුසු යැයි මට සිතේ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපල ශාඛාව සහ ගුවන්තොටුපොල සේවා නියුක්තික පිරිස එක්ව මෙම වැඩසටහනට අමතරව වරකාපොල පිලාඩුව විහාරස්ථානයේ මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකම පවත්වා එතුමාට පින් අනුමෝදන් කිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර එවන් වූ උතුම් මිනිසකුගේ ගුණ ඇගයීමට එක්වූ සහ සංවිධානය කල ඔබ සැමට ස්තූතිය සහ ගෞරවය පුදකරමි.

පුවතේ ගැලරිය