Ranjith Siyambalapitiya

442 වන කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහැර

පුවතේ ගැලරිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට ආසන්නයේ හැටන් මාර්ගයේ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලය පිහිටා ඇත. මෙහි ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බව සීතාවක යුගය පිළිබඳ ලියැවුණු ඉතිහාස ජනකතා වලින් කියවේ. සීතාවක රාජසිංහ රජු සමයේ එම දේවාලය ඉදිකළ ස්ථානය මඟුල් කප් සිටවූ මුල්ල “කබුළුමුල්ල“ වී ඇති බව ජනප්‍රවාදයේ කියවේ. කබුළුමුල්ල දේවාලය ක්‍රිස්තුවර්ෂ 1582 දී පමණ ඉදිවන්නට ඇතැයි සිතිය හැක.

කබුළුමුල දේවාලයේ පත්තිනි මෑණියන් මෙන්ම ගනේගොඩ දෙවියන්ටද පුද පූජා පැවැත්වේ. ගනේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ රජු බව ගනේගොඩ දේව උත්පත්ති කතා පුවතේ කියැවේ. කබුළුමුල්ල දේවාලයේ වාර්ෂික මංගල්‍යේත්සව රැසක් ඇත. නානුමූර මංගල්‍යය, අළුත් සහල් මංගල්‍යය, කාර්ති මංගල්‍යය, ගම්මඩු මංගල්‍යය, කෙම්මුර මංගල්‍යය සහ පෙරහැර මංගල්‍යයයි. මේ අතරින් පෙළහර මංගල්‍යය ඇසළ මාසයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙවර පෙරහැර මේ මස 20වන දින ආරම්භ වූ අතර එය දින නවයක් පුරා පැවැත්වේ. මෙම ඇසළ පෙරහැර අගෝස්තු 27 වනදා අවසන් වීමෙන් පසුදා කැළණි ගගේ දිය කැපීමෙන් අවසන් වේ.

පුවතේ ගැලරිය