අපවත් වී වදාළ ඓතිහාසික ලෙනගල රජමහා විහාරය, අම්පේ ශ්‍රී සෝභිතාරාමය යන උභය විහාරාධිපති, අම්පේ විද්‍යාසාගර මහ පිරිවෙනෙහි පරිවේණාධ්යක්ෂ, කෝරළ තුන සහ පහතබුලත්ගම දෙපළාත සහිත සතර කෝරළ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක ගෞරව මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ බොහෝ කලක සිට මගේ කල්‍යාණ මිත්‍රයෙකු විය.
උන්වහන්සේ බෞද්ධ ශාසනයට අති විශාල මෙහෙයක් කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනෙක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ඉතා දුෂ්කර කාර්යයක් වූ පිරිවෙනක් පවත්වාගෙන යමින් සසුනට උගත් ගුණවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් දායාද කළ සුවිශේෂී නායක ස්වාමීන්වහන්සේනමක් නිසාවෙන් මෙන්ම උන්වහන්සේගේ චතුර ධර්ම කථිකත්වය, නායකත්වය සහ සංවිධාන ශක්තිය තුළින් ප්‍රදේශයේ ශාසන කටයුතු දියුණුවට කළ අති මහත් උදාර සේවාව නිසාවෙනි.
එසේ වුවත් උන්වහන්සේගේ සේවය එතනින් නිම නොවන්නේය. උන්වහන්සේ සැබවින්ම සුවිශේෂී සමාජ සේවකයෙකු විය. සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනයාගෙන් පිරි කොටියාකුඹුර නගරයට පානීය ජලය ලබා දුන්නේ උන්වහන්සේ අතිමහත් වීර්යයෙන් දැනට වසර විස්සකට වැඩි කාලයක සිට ක්‍රියාත්මක කළ කොටියාකුඹුර ප්‍රජා ජල ව්‍යාපෘතිය තුළිනි. ඒ සඳහා උන්වහන්සේ ගන්නා ලද අතිමහත් වෑයම ප්‍රදේශයේ ජනතා නියෝජිතයා ලෙස කිසිසේත් අමතක කළ නොහැකිය. අපි ඒ සඳහා එදා සිටම සහාය දැක්වූයෙමු.
එසේ වුවත් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අසීරුව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. ප්‍රජා සහභාගිත්වයෙන් කළ යුතු බොහෝ කාර්යයන් එහිදී තිබුණි. ඒ හැම කාරණාවකදීම හැම ගැටළුවකදීම උන්වහන්සේ ලබා දුන් නායකත්වය සිහිපත් කළ යුතුම කරුණකි. මේ සුවිශේෂී කරුණු වලින් පරිපූර්ණ වූ අපේ නායක හාමුදුරුවෝ පසුගියදා රෝගාතුර වී අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ආදාහන උත්සවය අද දින සිය ගණනක් වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ සහ දහස් ගණනක් වූ ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී ඉතා වැදගත් කරුණක් වූයේ ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාවද විශාල සහභාගිත්වයක් දැක්වීමයි. එමෙන්ම මුස්ලිම් පල්ලිය සහ මුස්ලිම් ප්‍රජාව විසින් අවමංගල්‍ය කටයුතු වලදී ආහාරපාන වලින් පවා සංග්‍රහ කිරීම උන්වහන්සේට තිබූ ගෞරවය සහ උන්වහන්සේගේ වැඩපිළිවෙළ තුළ තිබූ සහජීවනය මනාවට පැහැදිලි විය.
අවසාන වශයෙන් උන්වහන්සේ ශාසනයට දායාද කළ දක්ෂ තරුණ උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වන,
- අම්පේ සීවලී හිමි.
- පුන්සිසිගම ගුණරතන හිමි.
- දැදිගම සුගතවංස හිමි.
- හපුවල සීලානන්ද හිමි.
- නිකවැවේ ඤාණානන්ද හිමි.
- හපුවල පියරතන හිමි.
- දිගලවත්තේ ධම්මරුචි හිමි.
- දෙමටම්පිටියේ සීලභද්‍ර හිමි.
- දෙණිහෙල ආදිච්ච හිමි.
යන ස්වාමීන්වහන්සේලා පිළිබඳව සසුනට ලැදි ජනතාවට විශාල බලාපොරොත්තු තැබිය හැක. උන්වහන්සේ ශාසනයට කළ දැවැන්තම සේවාව එවැනි සුවිශේෂි සඟ පරපුරක් රටට දායාද කිරීම යැයි මට සිතේ.
උන්වහන්සේ වෙනුවෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබාදුන් ශෝක පණිවිඩයේ මෙසේ සඳහන් විය. “පූජ්‍ය මල්මඩුවේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ අධ්‍යාපනයට කළ සේවය පැසසුමට ලක්විය යුතු අතර නායක ස්වාමීන් වහන්සේ සබරගමු පළාතේ බෞද්ධ පුනරුදය උදෙසා කළ සේවාව මෙන්ම ප්‍රදේශවාසී දායක දායිකාවන් වෙත කරන ලද සුවිශේෂී ශාසනික සහ සමාජීය සේවාවද අගය කළ යුතු බවයි.”
මල්මඩුවේ ධම්මකිත්ති අපේ නායක ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.