පී.බී.ජී. කලුගල්ල මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඇරඹූ කෑගල්ල මහ රෝහල හතර කෝරලේ ජනතාවගේ හදවත යැයි කීවත් වරදක් නැත. කලුගල්ල මහතාගේ ව්‍යායාමයෙන් පසු වරින් වර වැඩි දියුණු වූ රෝහලට නවීන ශ්‍යල්‍යාගාර පහසුකම් ලබාදීමට මීට පෙර වකවානුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස දායකවීමට මාහට ලැබීම සතුටකි. වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ එම කරුණ අද රෝහලට ගිය විට මාධ්‍යවේදී සහෝදරයින්ම සිහිපත් කිරීම ඊටක් වැඩි සතුටකි. කෑගලු මහ රෝහලට උද්යෝගිමත් අධ්‍යක්ෂකවරයකු අලුතින් පැමිණ ඇත. ඔහුගේ නායකත්වයෙන් රෝහලට ලැදි සියළු දෙනාටම මා සමග කතා කිරීමට අවශ්‍ය වූයේ දැනට සංකේතයක් පමණක් වූ හෘද රෝග ඒකකය රෝගියාට සැබෑවටම පහසුකම් සලසන ස්ථානයක් බවට පත්කර ගැනීමටයි. හතර වටේටම බැලුවහොත් නුවරට, කුරුණෑගලට, කොළඹට, රත්නපුරට යනතුරු හෘද රෝග ඒකකයක් නැත. දැනට අතරමග වැඩ නවතා ඇති වසර තුනකට සැලසුම් කර ඇති හෘද රෝග ඒකකයේ වැඩ ගරු ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමුකොට මේ වසර තුලම ඇරබීමට අධිෂ්ඨාන කර ගතිමි. ඒ සදහා වූ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එම අවස්ථාවේදීම දින යොදා ගැනීම මේ යහපත් ඇරඹුම වෙනුවෙන් පෙනී සිටින වෛද්‍යවරු ඇතුළු සියළු දෙනාට මහා ධෛර්යක් වූ බව ඔවුන්ගේ මුහුණු වල ඇති වූ බලාපොරොත්තුවේ සටහන් වලින් පැහැදිලි විය.