මා ගැන
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරවනැල්ල නගරයත් රුවන්වැල්ල නගරයත් අතර පිහිටා ඇති වැන්දල ග්‍රාමයේ පුංචි කඳු ගැටයක් මත රංජිත් සියඹලාපිටිය මෙලොවට බිහිකළ පෞරාණික නිවස පිහිටා ඇත.

ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයකු වූ සිරිල් සියඹලාපිටියයි. මව රාජකුමාපක්ෂ අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතී මැණිකේ මහත්මියයි.
එම වකවානුවේ පියාට සුදු රාළහාමි ලෙස ආදරයෙන් ආමන්ත්‍රණය කළ ගම්වාසීන් රංජිත් සියඹලාපිටිය හැඳින්වූයේ චූටි රාලහාමි කියාය. ඔහු සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නාය.
කුඩා කාලයේ වැන්දල කනිෂ්ඨ පාසලෙන්ද පසුව රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පස්වෙනියා ලෙස සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු 1978/79 වසර තුල ඒ ඒ විෂයන් වලට පාසලේ වැඩිම ලකුණු ලැබූ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ජේ.ආර්.ජයවර්ධන ආර්යා අතින් සම්මාන සහතික ලබා ගැනීමේ ගෞරවයද ඔහුට හිමිවිය.

1979 උසස් පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වාණිජ අංශයෙන් හොදම ශිෂ්‍යා ලෙස ඉහළින්ම ලකුණු ලබා රංජිත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත්විය. ඔහුට හදාරන්නට සිදුවූයේ රාජ්‍ය පරිපාලන විද්‍යාවේදී විෂය දහරාවයි.
1984 දී විශ්ව විද්‍යාල විභාගය පංති සාමාර්ථයක් සහිතව ඉහලින් සමත්ව තම උපාධිය සම්පූර්ණ කරන්නට රංජිත් සමත් වෙයි.
ඉන්පසුව කොස්ටාරිකා රාජ්‍ය විශ්ව විදයාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබද ආචාර්ය උපාධිය ද ඔහුගේ අධ්‍යාපනයට එකතු වේ.
වැන්දල විජය ක්‍රීඩා සමාජයෙන් වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ විය.
රුවන්වැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම බිහිකිරීමට නායකත්වය දුන් ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙස දක්ෂතා දැක්වීය. ඉන් පසු ශ්‍රී ජයවර්ධනපුර සරසවියට පිවිසෙන ඔහු එහි වොලිබෝල් කණ්ඩායමේ නායකයා මෙන්ම වර්ණලාභී ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල තරග තුළ දක්ෂතා පෙන්නුම් කළේය.
පසු කලෙක ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් වූ ඔහු වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනයෑම සඳහා විශාල වැඩ කොටසක් සිදුකරන ලදී.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල වකවානුවේදී එහි එල්ලේ ක්‍රීඩාව ආරම්භ කිරීමට නායකත්වය ගෙන කටයුතු කිරීමයි.
එසේම ඔහු දක්ෂ බැඩ්මින්ටන් ක්රීඩකයකුද වේ.
1994 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපාධාරී සංගමයේ රුවන්වැල්ල ශාඛා සමිතියේ සභාපති ලෙසත් වැන්දල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ ලේකම් ලෙසත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය.

එදා 1994 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ යටතේ තරඟ වැදි චන්ද්‍රිකා මැතිනිය දිනවන්නට විශාල වැඩ කොටසක් ඉටුකල රංජිත් 1998 ජූනි 30 වනදා රුවන්වැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් පිදුම් ලැබූහ.

1999 වර්ෂයේ පළාත් සභා මැතිවරණයෙන් මනාප ඡන්ද 21000ක් ලබාගෙන සබරගමුව පළාත් සභාව සඳහා තේරී පත්විය. 2000 වර්ෂයේ දී ගලිගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසනය සංවිධායක ධුරයට පත්විය.
2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කෑගල්ලෙන් මනාප 142000ක් ලබා ගත් අතර එය අදටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ නොබිදුණු වාර්ථාවකි.
2000 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එදා සිට අද දක්වාම පාර්ලිමේන්තු මැතිවරණ 6ක් ජයග්‍රහණය ලබා අඛණ්ඩව පාර්ලිමේන්තුවට නියෝජනය කරයි.
2004 අප්‍රේල් 14 මුදල් නියෝජ්‍ය අමාත්‍ය දුරට පත්විය.
ඉන්පසු
- මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
- මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
- මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ආදායම් කැබිනට් නොවන අමාත්‍ය
- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
- විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
- ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- පරිසර රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
- විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
- අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
- නියෝජ්‍ය කතානායක ධුරයෙන් අනතුරුව
- රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හා මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය අද දක්වාම හොබවමින් සිටී